ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය

பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

Embassy Flag

මරණ ලියාපදිංචිය (Registration of Death)

සුදුසුකම්:

ප්‍රංශයේ සහ මෙම තානාපති කාර්යාලයට සමගාමී අක්තපත්‍ර හිමි ස්පාඤ්ඤය, පෘතුගාලය, මොනාකෝ සහ ඇන්ඩෝරා යන රටවල පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්.

අයදුම්පත ඉදිරිපත් කිරීමේ ක්‍රම:

ඔබගේ අයදුම්පත පහත සඳහන් ක්‍රම දෙකෙන් එකක් මඟින් ඉදිරිපත් කළ හැක.

  1. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 16 රූ ස්පොන්ටිනි, 75016 පැරිස් වෙත පෞද්ගලිකව පැමිණීමට පෙර හමුවීමක් (Appoitment) වෙන්කරවා ගන්න.
  2. අවශ්‍ය සියලුම ලේඛන ඔබට Embassy of Sri Lanka in France, 16 Rue Spontini, 75016 Paris යන ලිපිනය වෙත තැපෑල මඟින් එවීම.

මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකික පුරවැසියෙකු නම් (මරණය සිදුවන අවස්ථාවේ වලංගු පදිංචි බලපත්‍රයක් තිබිය යුතුය හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු විය යුතුය) සහ මරණය අදාළ අක්තපත්‍ර හිමි රටක (ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, මොනාකෝ සහ ඇන්ඩෝරා) සිදුවී ඇත්නම්, කොන්සියුලර් කාර්යයන් පනතේ 7 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් එම මරණය ලියාපදිංචි කළ හැක.

මරණ ලියාපදිංචිය සඳහා අයදුම් කළ හැක්කේ කාටද?

  • මරණය සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයා සමඟ සිටි ආසන්නතම ඥාතියා හෝ මියගිය පුද්ගලයා අවසන් වරට ජීවත්ව සිටින විට ඔහු/ඇය සමඟ සිටි පුද්ගලයා.
  • මරණය සිදුවූ රටේ පදිංචි මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු.
  • එවැනි ඥාතියෙකු නොමැති නම්, මරණය සිදුවන අවස්ථාවේ එහි සිටි වෙනත් ඕනෑම පුද්ගලයෙකු.
  • මරණය සිදුවූ නිවසේ ප්‍රධාන පදිංචිකරු.
  • මරණය සිදුවූ රෝහලේ හෝ පොදු ආයතනයේ වගකීම දරන වෛද්‍යවරයා.
  • ඉහත සඳහන් පුද්ගලයින් නොමැති නම්, මියගිය පුද්ගලයාගේ දේහය භූමදානය, ආදාහනය හෝ වෙනත් ක්‍රමයකින් ඉවත් කිරීම සඳහා කටයුතු කරන පුද්ගලයා.

ප්‍රංශය / ස්පාඤ්ඤය / පෘතුගාලය / මොනාකෝ / ඇන්ඩෝරා යන රටවල මියගිය ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මරණය ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය ලේඛන:

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත.(මරණ ප්‍රකාශය, ඉහත සඳහන් පරිදි මරණය සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයා සමඟ සිටි ආසන්නතම ඥාතියා, කලත්‍රයා, සහෝදරයා/සහෝදරිය හෝ දරුවන් විසින් ඉදිරිපත් කළ යුතුය.)
  • මරණය සිදුවී මාස 03ක් ඇතුළත ඉදිරිපත් කරන මරණ ප්‍රකාශය(B11 ආකෘති පත්‍රය)
  • මාස 03කට පසුව සිදුකරන ප්‍රමාද වූ ලියාපදිංචිය සඳහා(B15 ආකෘති පත්‍රය)
  • අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද මුල් මරණ සහතිකය සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය.
  • මියගිය පුද්ගලයාගේ මුල් ශ්‍රී ලංකා උප්පැන්න සහතිකය.
  • මරණයට හේතුව සඳහන් කරන කොරනර් වාර්තාව / වෛද්‍ය වාර්තාව සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය.
  • මරණය සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයා සතුව තිබූ ගමන් බලපත්‍රය.
  • මරණය සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයා සතුව තිබූ වීසා බලපත්‍රය.
  • මියගිය පුද්ගලයාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කිරීම සඳහා ඇති වෙනත් හැඳුනුම් ලේඛන.
  • අයදුම්කරු සහ මියගිය පුද්ගලයා අතර ඇති සම්බන්ධතාවය සඳහන් කරන ඉල්ලීම් ලිපිය සහ පෙර මරණ ලියාපදිංචියක් සිදු කර නොමැති බව තහවුරු කරන ලේඛන.(උප්පැන්න සහතිකය, විවාහ සහතිකය ආදිය)
  • තොරතුරු ලබාදෙන පුද්ගලයාගේ ගමන් බලපත්‍රය සහ සංක්‍රමණ වීසා බලපත්‍රය.
  • මාස 03කට පසුව අයදුම් කරන්නේ නම්, මරණ ලියාපදිංචියේ ප්‍රමාදයට හේතුව.

අදාළ රජයේ ගාස්තු:

  • මරණ ලියාපදිංචිය සහ මරණ සහතිකය නිකුත් කිරීම: යුරෝ 21
  • මරණ සහතිකයේ සහතික කළ පිටපතක් නිකුත් කිරීම: යුරෝ 12
  • තැපැල් ගාස්තු (ප්‍රංශය තුළ): යුරෝ 10
  • තැපැල් ගාස්තු (ප්‍රංශයෙන් පිටත): යුරෝ 15

ගෙවීම් ක්‍රමය:

අයදුම්කරු තානාපති කාර්යාලයට පෞද්ගලිකව පැමිණෙන්නේ නම්, ගාස්තුව මුදලින් ගෙවිය හැක.

සටහන:ණයපත් (Credit Cards), හරපත් (Debit Cards), පුද්ගලික හෝ ආයතනික චෙක්පත් භාරගනු නොලැබේ.

විශේෂ සටහන්:

  • නිල රිසිට්පත (Gen. 172) නිකුත් කිරීමෙන් පසු කිසිදු අවස්ථාවක ගාස්තු ආපසු ගෙවනු නොලැබේ.
  • මුල් ලේඛනවල පරිවර්තන මුල් ලේඛන ලෙස පිළිගනු නොලැබේ.
  • සියලුම ඡායා පිටපත් A4 ප්‍රමාණයේ කඩදාසි මත ඉදිරිපත් කළ යුතුය.
  • දූත මණ්ඩලය ලේඛන සහතික කර මුල් ලේඛන අයදුම්කරු වෙත ආපසු ලබා දෙනු ඇත.
  • හදිසි අවශ්‍යතාවයක් මත ලේඛන යැවීමට හෝ ලබා ගැනීමට (Express Courier / Speed Post වැනි සේවාවන් මඟින්) අවශ්‍ය නම්, අදාළ තැපැල් ගාස්තු අයදුම්කරු විසින්ම දැරිය යුතුය.
  • තැපෑල හෝ කුරියර් සේවා මඟින් යවන ලද ලේඛන නැතිවීම හෝ තැපැල් ප්‍රමාදයන් සම්බන්ධයෙන් තානාපති කාර්යාලය කිසිදු වගකීමක් භාර නොගනී.

ශ්‍රී ලංකාවට මෘත දේහ ගෙන්වා ගැනීමේ ක්‍රියා පටිපාටිය

(Repatriation of Human Remains to Sri Lanka)

මියගිය පුද්ගලයාගේ දෙමාපියන්, පවුලේ සාමාජිකයෙකු හෝ කලත්‍රයා (ළඟම ඥාතියා - Next of Kin/NOK) විසින් දිවුරුම් ප්‍රකාශයක් සමඟ ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.

එම දිවුරුම් ප්‍රකාශය එම පවුලේ සාමාජිකයෙකු හෝ කලත්‍රයා (ළඟම ඥාතියා - Next of Kin/NOK)  විසින් නිවැරදිව සම්පූර්ණ කර සාම විනිසුරුවරයෙකු (Justice of Peace - JP) විසින් සහතික කර තිබිය යුතුය.

එම ඉල්ලීම මඟින්:

  • ප්‍රංශයේ අවමංගල්‍ය කටයුතු සඳහා කටයුතු කිරීමට ප්‍රංශයේ සිටින ළඟම ඥාතියෙකු (NOK) නම් කිරීම හෝ
  • ශ්‍රී ලංකා ගුවන් තොටුපළේදී දේහය භාර ගැනීම සඳහා ළඟම ඥාතියෙකු (NOK) පුද්ගලයෙකු නම් කිරීම සිදු කළ යුතුය. මෙම ඉල්ලීම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය, කොළඹ වෙත ඉදිරිපත් කළ යුතුය. අමාත්‍යාංශය එම ඉල්ලීම සම්බන්ධයෙන් විදේශීය දූත මණ්ඩලය සමඟ සම්බන්ධ වී අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරනු ඇත.

ලිපිනය:

කොන්සියුලර් කටයුතු අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය,16 වන මහල, "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර මාවත, බත්තරමුල්ල, ශ්‍රී ලංකා

දුරකථන: 0094-11-2446302 / 5743362

ෆැක්ස්: 0094-11-2473899

විද්‍යුත් තැපෑල: consular@mfa.gov.lk

ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - යාපනය

විදේශ කටයුතු අමාත්‍යාංශය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නුවර පාර, යාපනය, ශ්‍රී ලංකාව

දුරකථන: 0094-21-2215972

ෆැක්ස්: 0094-21-2215970

විද්‍යුත් තැපෑල: consular@mfa.gov.lk

මෘත දේහය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන හා ක්‍රියා පටිපාටිය (අඛණ්ඩ)

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය/කොන්සියුලර් කාර්යාලය, ප්‍රංශයේ සහ ශ්‍රී ලංකාවේ ළඟම ඥාතීන් (NOK) මෙන්ම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් අවමංගල්‍ය කටයුතු සහ මෘත දේහය ශ්‍රී ලංකාවට යැවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත.

ප්‍රංශයේ සිටින ළඟම ඥාතියා (NOK) මෘත දේහය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන සකස් කිරීම පිණිස ප්‍රංශයේ අවමංගල්‍ය සේවා ආයතනය හා අවශ්‍ය අවස්ථාවලදී (සැක සහිත මරණයක් හෝ ඝාතනයක් වැනි සිද්ධියකදී) පොලිසිය හෝ රෝහල සමඟ සම්බන්ධ විය යුතුය.

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • රෝහල විසින් නිකුත් කරන ලද මරණ සහතිකය
  • ප්‍රාදේශීය නගර සභාව (Town Hall) විසින් නිකුත් කරන ලද මරණ සහතිකය
  • බෝවන රෝග නොමැති බව තහවුරු කරන රෝහලේ වෛද්‍ය වාර්තාව
  • මියගිය පුද්ගලයාගේ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත්
  • ප්‍රංශ ප්‍රාන්ත පරිපාලනය (French Prefecture) විසින් නිකුත් කරන ලද Mortuary Permit (Laissez-passer)
  • මෘත දේහය සංරක්ෂණය (Embalming) කළ බවට සහතිකය
  • මෘත දේහය බහාලන පෙට්ටියක තැන්පත් කර විදේශ රටකට ප්‍රවාහනය කිරීමට ලබා දී ඇති අවසරය
  • වසංගත තත්ත්වයක් නොමැති බවට සහතිකය (Certificate of Non-Epidemic Area)
  • මෘත දේහය බහාලන පෙට්ටිය වසා මුද්‍රා තැබීම සඳහා ලබා දී ඇති අවසර ලිපිය
  • මරණයට හේතුව සඳහන් වෛද්‍ය සහතිකය
  • ගුවන් ගමන් විස්තරය (Flight Itinerary) සමඟ අවමංගල්‍ය සේවා ආයතනය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ලිපිය
  • මෘත දේහය සමඟ ශ්‍රී ලංකාවට ගමන් කරන ළඟම ඥාතියාගේ (NOK) ප්‍රංශ/ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය, සංක්‍රමණ වීසා හෝ ප්‍රංශ ජාතික හැඳුනුම්පත
  • මෘත දේහය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම සඳහා තානාපති කාර්යාලය/කොන්සියුලර් කාර්යාලය විසින් නිකුත් කරන අවසර ලිපිය

සටහන

  • මෘත දේහය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ප්‍රංශ බලධාරීන් විසින් නිකුත් කරන සියලුම ලේඛන ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය/කොන්සියුලර් කාර්යාලය මඟින් නීත්‍යානුකූලව සහතික කර තිබිය යුතු අතර, ඒවාට ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ද අමුණා තිබිය යුතුය.

පහත සඳහන් නියමයන් සම්පූර්ණ කර නොමැති මෘත දේහයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අවසර නොලැබේ: 

  • දේහය නිසි පරිදි Embalming කර තිබිය යුතුය.
  • මෘත දේහය ඝන ලී බහාලන පෙට්ටියක, ඇතුළත Lead හෝ Zinc ආවරණයක් සහිතව තැන්පත් කර මුද්‍රා තබා තිබිය යුතුය.
  • හිස් ඉඩ ප්‍රමාණයන් සුදුසු විෂබීජ නාශක ද්‍රව්‍ය (උදා: Chloride of Lime හෝ Zinc Sulphate මිශ්‍රිත Sawdust) යොදා පුරවා තිබිය යුතුය.

භෂ්මාවශේෂ (Human Ashes) ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම

අවශ්‍ය ලේඛන

  • මියගිය පුද්ගලයාගේ ගමන් බලපත්‍රය (කොන්සියුලර් කාර්යාලය විසින් අවලංගු කිරීම සඳහා)
  • මියගිය පුද්ගලයාගේ උප්පැන්න සහතිකය
  • මරණයට හේතුව සඳහන් කොරනර් වාර්තාව හෝ රෝහල් වාර්තාව
  • රෝහල විසින් නිකුත් කරන ලද මරණ සහතිකය (තිබේ නම්)
  • නගර සභාව විසින් නිකුත් කරන ලද මරණ සහතිකය (අනිවාර්ය වේ)
  • ප්‍රංශ බලධාරීන් විසින් නිකුත් කරන ලද ආදාහන සහතිකය
  • භෂ්මාවශේෂ ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රංශ බලධාරීන් විසින් නිකුත් කරන ලද අවසරය
  • ශ්‍රී ලංකාවට ප්‍රවාහනය සඳහා ගුවන් ගමන් විස්තරය (Travel Itinerary)
  • භෂ්මාවශේෂ සමඟ ගමන් කරන ළඟම ඥාතියාගේ (NOK) ප්‍රංශ/ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය, සංක්‍රමණ වීසා හෝ ප්‍රංශ ජාතික හැඳුනුම්පත
  • භෂ්මාවශේෂ ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම සඳහා තානාපති කාර්යාලය/කොන්සියුලර් කාර්යාලය විසින් නිකුත් කරන අවසර ලිපිය සහ ශ්‍රී ලංකා දේශසීමා පාලන බලධාරීන් විසින් නිකුත් කරන විරුද්ධත්වයක් නොමැති බවට ලිපිය (No Objection Letter)

අවසාන සටහන

  • භෂ්මාවශේෂ ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ප්‍රංශ බලධාරීන් විසින් නිකුත් කරන සියලුම ලේඛන ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය/කොන්සියුලර් කාර්යාලය මඟින් නීත්‍යානුකූලව සහතික කර තිබිය යුතු අතර, ඒවාට ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් අමුණා තිබිය යුතුය.
  • භෂ්මාවශේෂ වාතය හා ජලය ඇතුළු නොවන පරිදි මුද්‍රා තැබූ ඇලුමිනියම් බහාලුමක (air/water-tight aluminium container) අසුරා නොමැති නම්, ශ්‍රී ලංකාවට ගෙන්වීමට අවසර නොලැබේ.