ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය
பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்
Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

විදේශ ගමන් බලපත්‍ර සේවා
වත්මන් / කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය වෙනුවට නව විදේශ ගමන් බලපත්‍රයක්
වත්මන් / කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය වෙනුවට නව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කළ දින සිට වසර දහයක (10) කාලයක් වලංගු වන අතර, විශේෂ සටහන් කිරීමක් හෝ සීමා කිරීමක් නොමැති නම් එය එසේම පවතී. මෙම වසර 10ක කාලය අවසන් වූ විට හෝ වීසා අනුමත කිරීම් සඳහා පිටු ඉතිරි නොමැති විට නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත යුතුය. වත්මන් විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වීමට පෙර හෝ වීසා අනුමත කිරීම් සඳහා පිටු අවසන් වීමට පෙර නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම බලපත්‍ර හිමියාගේ වගකීමකි.
සුදුසුකම් : ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, මොනාකෝ සහ ඇන්ඩෝරා යන රටවල පදිංචිව සිටින, උපතින් හෝ ලියාපදිංචි වීමෙන් ශ්‍රී ලංකා පුරවැසියෙකු වන අයදුම්කරුවන්.
අයදුම් කළ හැක්කේ කාටද? ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, මොනාකෝ සහ ඇන්ඩෝරා යන රටවලට අදාළ ස්ථිර පදිංචි සහතිකයක් හෝ වලංගු වීසාවක් හිමි අය.
මෙය සඳහා කොපමණ කාලයක් ගත වේද? විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බලධාරියා වන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවයි. එබැවින් සම්පූර්ණ කරන ලද අයදුම්පත භාර දුන් දින සිට නව විදේශ ගමන් බලපත්‍රයක් සැකසීමට මාස 4 - 6 අතර කාලයක් ගත වේ.
සාමාන්‍යයෙන් තානාපති කාර්යාලය සම්පූර්ණ කරන ලද අයදුම්පත් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය තාන්ත්‍රික තැපැල් මල්ල (Diplomatic Bag) මගින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කරයි.
නිශ්චිත කාල සීමාවක් තුළ විදේශ ගමන් බලපත්‍රය නිකුත් කරනු ඇති බවට තානාපති කාර්යාලයට සහතික විය නොහැක.
ඔබට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට පහත දැක්වෙන විකල්ප දෙකක් ඇත:
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණීම මගින්
Embassy of Sri Lanka in France, 16 Rue Spontini, 75016 Paris හි පිහිටි තානාපති කාර්යාලය වෙත අදාළ සේවාව ලබාගැනීම සඳහා පැමිණීමට පෙර මාර්ගගතව වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්යය වේ.
අවශ්‍ය සියලු ලේඛන තැපැල් මගින් යැවීම:
ඔබට Embassy of Sri Lanka in France, 16 Rue Spontini, 75016 Paris යන ලිපිනය වෙත ඔබගේ අයදුම්පත, අවශ්‍ය ලේඛන (පහත දක්වා ඇති පරිදි), පවතින විදේශ ගමන් බලපත්‍රය, මුල් ලේඛනවල පිටපත්, සහතික කරන ලද අයදුම්පත් සහ ඡායාරූප (ප්‍රංශ නොතාරිස්වරයෙකු/නීතිඥයෙකු හෝ අදාළ නගර සභා කාර්යාලයක් හෝ ශ්‍රී ලංකා ගෞරව කොන්සල්වරයෙකු විසින් සහතික කරන ලද), බැංකු මාරු කිරීමේ සටහනක් සහ ඔබගේ ලිපිනය සහ මුද්දර සහිත ලියුම් කවරයක් (01) සමඟ තැපැල් මගින් යොමු කළ හැක.
විශේෂ සටහන්:
- තැපැල් කිරීමේදී විදේශ ගමන් බලපත්‍ර හෝ වෙනත් ලේඛන හානි වීම හෝ අහිමි වීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලයට වගකීමක් දැරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
- අදාළ කොන්සියුලර් සේවාව සඳහා අවශ්‍ය සියලු ලේඛන සම්පූර්ණ වී ඇති බව කොන්සියුලර් අංශයෙන් තහවුරු කිරීමක් ලැබෙන තුරු කිසිදු ගාස්තුවක් තානාපති කාර්යාලයේ බැංකු ගිණුමට මාරු කිරීම හෝ තැන්පත් කිරීම නොකළ යුතුය.
- රිසිට්පතක් නිකුත් කිරීමෙන් පසු කිසිදු අවස්ථාවක ගාස්තු ආපසු ලබා නොදෙනු ලැබේ.
ඔබගේ නියමිත වේලාව සඳහා තානාපති කාර්යාලයට පැමිණෙන විට පහත සඳහන් ලේඛන රැගෙන එන්න:
අවශ්‍ය ලේඛන:
- මාර්ගගත ‘K35A’ විදේශීය අයදුම්පත සම්පූර්ණ කර මුද්‍රණය කරන්න. අයදුම්පත පිරවීම සඳහා උපදෙස් අනුගමනය කරන්න.
- විදේශ ගමන් බලපත්‍රය සඳහා නියමිත ඡායාරූප ලබා ගන්න. නියමිත අවශ්‍යතා සපුරා නොමැති ඡායාරූප තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
- වත්මන් විදේශ ගමන් බලපත්‍රය සහ දත්ත පිටුව, සටහන්/වෙනස්කම් පිටු සහ වීසා මුද්‍රා සහිත පිටුවල ඡායා පිටපත්.
- රෙජිස්ට්‍රාර් ජනරාල්, දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ ප්‍රාදේශීය රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද, මාස 06ක් තුළ ලබාගත් මුල් උප්පැන්න සහතිකය. තෙවන පාර්ශවයන් විසින් සහතික කරන ලද ඡායා පිටපත් සහ පරිවර්තන ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පිළිගනු නොලැබේ.
- අයදුම්කරු ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලබා ඇත්නම්, ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මුල් පුරවැසිභාව සහතිකය සහ පැහැදිලි ඡායා පිටපතක්. පුරවැසිභාව ගාස්තු ගෙවූ බවට රිසිට්පතේ පිටපතක් පළමු වරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගන්නා විට පමණක් පිළිගනු ලැබේ.
සටහන: ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලබා වයස අවුරුදු 21 සම්පූර්ණ වී ඇත්නම්, ශ්‍රී ලංකා පුරවැසිභාවය දිගටම පවත්වාගෙන යාම සම්බන්ධ අනුමැතිය (endorsement) සහිත පුරවැසිභාව සහතිකය ඉදිරිපත් කළ යුතුය. (එම දිගුව නොමැති නම්, ශ්‍රී ලංකා පුරවැසිභාවය දිගු නොකිරීම පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය. මෙම දිවුරුම් ප්‍රකාශය තානාපති කාර්යාලය මගින් ලබා දෙන අතර ඒ සඳහා අමතර €64 ගාස්තුවක් ගෙවිය යුතුය.)
- විවාහයෙන් පසු භාවිතා කරන නම ලබා ගැනීමට (කාන්තා අයදුම්කරුවන් සඳහා), මුල් විවාහ සහතිකය සහ පැහැදිලි ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය. එය විදේශීය භාෂාවකින් නම්, ඉංග්‍රීසි පරිවර්තනයක් රැගෙන ආ යුතුය. (අනෙකුත් පාර්ශවයන් විසින් සහතික කරන ලද ඡායා පිටපත් සහ පරිවර්තන පිළිගනු නොලැබේ.) දික්කසාද වී ඇති අවස්ථාවක, සහකරුගේ නම නව විදේශ ගමන් බලපත්‍රයේ තවදුරටත් භාවිතා කිරීමට කැමති නම්, අධිකරණ නියෝගයේ ඡායා පිටපත සහ මුල් පිටපත අනිවාර්ය වේ.
- ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පත (NIC). ඔබ සතුව ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් පමණක් තිබේ නම්, ජාතික හැඳුනුම්පත ඉදිරිපත් නොකිරීමට හේතු සඳහන් ලිපියක් ඉදිරිපත් කරන්න. එසේම ඔබ සතුව ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පතක් නොමැති නම්, එයට හේතුව/හේතු (ඉංග්‍රීසි/සිංහල/දෙමළ භාෂාවෙන්) සඳහන් කර ලිපියක් ඉදිරිපත් කරන්න. - Sample Letter
- අයදුම්කරු ද්විත්ව පුරවැසියෙකු නම්, මුල් ද්විත්ව පුරවැසිභාව සහතිකය සහ ඡායා පිටපතක්. මුල් විදේශීය විදේශ ගමන් බලපත්‍රය සහ දත්ත පිටුවේ ඡායා පිටපතක්.
- අයදුම්කරු තම වෘත්තිය/රැකියාව විදේශ ගමන් බලපත්‍රයට ඇතුළත් කිරීමට අවශ්‍ය නම්, මුල් සේවා සහතිකය, වෘත්තීය හෝ අධ්‍යාපන සහතික සහ ඡායා පිටපත්.
- අයදුම්කරු බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් නම්, සාමනේර සහතිකය හෝ උප්සම්පදා සහතිකය සහ ඡායා පිටපතක් උප්පැන්න සහතිකයට අමතරව ඉදිරිපත් කළ යුතුය.
- වලංගු සංක්‍රමණික (Immigrant) වීසාවේ මුල් පිටපත සහ පිටපත. (ඔබ සතුව සංක්‍රමණික වීසාව නොමැති නම්, ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නීතිගත කරන ලද Commission Reject හෝ Refugee Renounce ලිපිය සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය ඉදිරිපත් කළ යුතුය.) වීසාව අවම වශයෙන් මාස 1-3ක් වලංගු විය යුතු බව කරුණාවෙන් සලකන්න. වලංගු වීසාව නොමැති අවස්ථාවක, ඔබ වෙනත් විදේශීය පුරවැසිභාවයක්, සරණාගත හෝ ආරක්ෂක තත්ත්වයක් ලබාගෙන නොමැති බව තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය. (මෙම දිවුරුම් ප්‍රකාශය තානාපති කාර්යාලය විසින් ලබා දෙනු ලැබේ.)
- සෑම ලේඛනයකම ඡායා පිටපතක් සහ ප්‍රංශ භාෂාවේ ඇති සියලු ලේඛනවල ඉංග්‍රීසි පරිවර්තන රැගෙන එන්න.
ගෙවීමේ ක්‍රමය
- අයදුම්කරු තානාපති කාර්යාලයට පැමිණෙන්නේ නම්, මුදලින්, ක්‍රෙඩිට් කාඩ්පතකින් හෝ ඩෙබිට් කාඩ්පතකින් ගෙවීම් සිදු කළ හැකිය. පුද්ගලික හෝ සමාගම් චෙක්පත් භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න. ශ්‍රී ලංකා රජයේ නියමයන්ට අනුව, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් සිදුකරන සියලුම ගෙවීම් සඳහා අමතර 5% ක සේවා ගාස්තුවක් අය කෙරෙන බව කරුණාවෙන් සලකන්න.
- අදාළ ගාස්තුව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බැංකු ගිණුමට සෘජු බැංකු මාරු කිරීමක් (Bank Transfer) මගින් ගෙවීමට අපේක්ෂා කරන අයදුම්කරුවන්, ඒ සඳහා අවශ්‍ය පූර්ව උපදෙස් ලබා ගැනීම සඳහා තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස දැනුම් දෙනු ලැබේ.
ගාස්තු
| කොන්සියුලර් සේවාවේ විස්තරය | සාමාන්‍ය ගාස්තුව (€) | කාඩ්පත් ගෙවීම් (+5%) |
|---|---|---|
| නව විදේශ ගමන් බලපත්‍ර අයදුම් ගාස්තුව | €140 | €147 |
| තැපැල් ගාස්තුව (ප්‍රංශය තුළ) | €10 | €10.50 |
| තැපැල් ගාස්තුව (ප්‍රංශයෙන් පිටත) | €15 | €15.75 |
| වීසා නොමැති බවට දිවුරුම් ප්‍රකාශය: (සංක්‍රමණික නොවන වීසා හිමියන් සඳහා දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍ය වන අතර එය මෙම දූත මණ්ඩලය මගින් සහතික කිරීම සඳහා ගෙවිය යුතුය.) | €64 | €67 |
වැදගත්
- නිල රිසිට්පතක් නිකුත් කිරීමෙන් පසු කිසිදු අවස්ථාවක ගාස්තු ආපසු ලබා නොදෙනු ලැබේ.
- පරිවර්තන මුල් ලේඛන ලෙස පිළිගනු නොලැබේ.
- සියලු ඡායා පිටපත් A4 ප්‍රමාණයේ කඩදාසි මත තිබිය යුතුය.
- තානාපති කාර්යාලය සියලු ලේඛන පරීක්ෂා කර මුල් ලේඛන අයදුම්කරුට ආපසු ලබා දෙයි.
- දෙමාපියන්ගේ විදේශ ගමන් බලපත්‍රයෙන් දරුවාගේ නම ඉවත් කිරීම අවශ්‍ය නම්, දෙමාපියන්ගේ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතුය.
- දෙමාපියන් තම දරුවා හෝ දරුවන් සමඟ එක්ව නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම්, දෙමාපියන්ට නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරන බැවින් දරුවාගේ විස්තර ඉවත් කිරීම අවශ්‍ය නොවේ.
- අයදුම්කරුට ලේඛන හදිසි පදනමක් මත (Express Courier Service හෝ Speed Post ආදිය මගින්) යැවීමට හෝ ලබා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා ඔහු/ඇය පෞද්ගලිකව කටයුතු කළ යුතුය.
- තැපෑලෙන් හෝ කුරියර් සේවාවෙන් ලේඛන අහිමි වීම හෝ ප්‍රමාද වීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය කිසිදු වගකීමක් භාර නොගනී.