ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය
பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்
Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

අතිගරු සුගීශ්වර ගුණරත්න මැතිතුමා
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කෝවෙහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත
සුගීශ්වර ගුණරත්න මහතා 2000 වර්ෂයේදී ශ්‍රී ලංකා විදේශ සේවයට එක්විය. වර්තමාන පත්වීමට පෙර, ඔහු විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව භාර අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කර ඇත.
මීට පෙර, ඔහු නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරයා ලෙසත්, ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති සහ අප්‍රිකානු සංගමය වෙත ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා ලෙසත් කටයුතු කර ඇත.
නිව්යෝර්ක්හි සේවා කාලය තුළ, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (Convention on the Rights of Persons with Disabilities) රාජ්‍ය පාර්ශ්වයන්ගේ 16 සහ 17 වන සමුළුවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. එසේ ම එක්සත් ජාතීන්ගේ සමුළු රැසකට ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සාමාජිකයෙකු ලෙස සහභාගි වූ අතර, මාර්තු 01 වන දින “World Seagrass Day” ලෙසත්, දෙසැම්බර් 21 වන දින “World Meditation Day” ලෙසත් ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනා දෙක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය.
එමෙන්ම, ඔහු ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙසද සේවය කර ඇත.
ඔහුගේ අනෙකුත් විදේශ සේවා පත්වීම් අතර, නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා මාධ්‍ය කටයුතු භාර උපදේශකවරයා ලෙසත්, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ දෙවන ලේකම්වරයා ලෙසත්, මානව හිමිකම් සහ මානුෂීය කටයුතු සම්බන්ධයෙන් වගකීම් දරමින් සේවය කිරීමද ඇතුළත් වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේදී, ඔහු මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර ඇත. එසේ ම එක්සත් ජාතීන්ගේ සංවිධානය, බහුපාර්ශ්වික කටයුතු, මානව හිමිකම් හා සමුළු අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසද, දකුණු ආසියා සහ සාර්ක් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද සේවය කර ඇත.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ උපාධිධාරියෙකි. එමෙන්ම, කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයෙන් රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර, කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සෙන්ටෙනියල් විද්‍යාලයෙන් ආයතනික සන්නිවේදනය සහ මහජන සම්බන්ධතා පිළිබඳ පශ්චාත් උපාධි සුදුසුකම් ද හිමිකරගෙන ඇත.
ගුණරත්න මහතා විවාහක වන අතර දරුවන් තිදෙනෙකුගේ පියෙකි.